දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමගේ පණිවුඩය​

divider

නීතීඥ සිසිර ජයකොඩි

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය මේ වන විට නව පිබිදීමකින් යුතුව ඉදිරියට ගමන් කරමින් සිටී.  ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය පිණිස හේතු වන්නාවූ වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් පසු ගිය කාලය තුළ ගැනීමට හැකිවීම මෙම ක්ෂේත්‍රයේ ලද ජයග්‍රහණයකි.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා කාලීන අවශ්‍යතාවයක් වූ දේශීය වෛද්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම මේ වන විට සිදු කර ඇති අතර මහජන අදහස්ද සලකා බලමින් එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  එසේම කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකමින් 1961 අංක 31 දරණ ආයුර්වේද පනත සඳහා සංශෝධන ගෙන ඒමටද කටයුතු කරමින් සිටී.

“වෙදවරු” ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීම තුළින් දේශීය වෙදකම ජාත්‍යන්තරයට ගෙන යාමටද හැකි විය.  එසේම ක්ෂේත්‍රයේ උන්නතිය හා සංවර්ධනය වෙනුවෙන් විදේශයන් සමඟ අවබෝධාත්මක ගිවිසුම්(MOU) වලට එළඹීමටද කටයුතු කරමින් පවතී.  ලොව පිළිගත් වෘත්තීය අධ්‍යාපනයකින් සමන්විත වෘත්තීය ආයුර්වේද සම්භාහන ශිල්පීන් බිහිකිරීම උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම (NVQ-04) සඳහා ජාතික නිපුණතා සම්මතයන් සහ නිපුණතා පදනම් වූ විෂය නිර්දේශ හඳුන්වාදීමට හැකියාව ලැබුණි.

විශේෂ කුසලතා සහිත පාරම්පරික වෛද්‍යවරුන්ට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර එම වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී මතුව තිබූ ගැටළු නිරාකරණය කිරීම පිණිස නව ක්‍රමවේදයක් සකසා පෙර පැවති බාධක ක්‍රමානුකූලව මඟහරවා ඇත.  එසේම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා ඉමහත් මෙහෙයක් සිදු කළ පාර්ම්පරික, සිද්ධ, යුනානි හා උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 124 දෙනෙකු වෙත ජනාධිපති සම්මාන ප්‍රදානය සිදු කර ඔවුන්ගේ සේවා ඇගයීම සිදු කරන ලදී.

විදේශ වෙළදපොල ඉලක්ක කරගනිමින් දේශීය වෛද්‍ය සේවාවන් හා නිෂ්පාදන සම්පාදනය කිරීමට සහ එමඟින් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමේ වැඩසටහන් වෙත මේ වන විට වැඩි අවධානය යොමු කරමින් කටයුතු කරමින් පවතී.  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තම නිෂ්පාදන අපනයන වෙළඳපොල ඉලක්ක කර ගනිමින් ව්‍යාප්ත කිරීමටද මේ වන විට කටයුතු කරමින් සිටී. උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා සංචාරක හෝටල් තුළ නව ප්‍රතිකාර ඒකක පිහිටුවා රැකියා උත්පාදනය හා විදේශ විනිමය ලබා ගැනීමේ වැඩපිළිවෙලකටද අවතීර්ණව ඇත.

2016 අංක 10 දරණ හෝමියෝපති පනතේ 30(1) වගන්තිය යටතේ හෝමියෝපති වෘත්තිකයන් ලියාපදිංචිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි වූ අතර අදාළ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් හට හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දී ඇත.

දේශීය ඖෂධ ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ක්‍රමානුකූලව අඩුකරමින් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට සුලභ කිරීම පිණිස ඔසු පැල වගා කිරීම හා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල සඳහා මේ වන විට අවතීර්ණව ඇත.  එසේම ආයුර්වේද සංරක්ෂණ සභා නැවත සක්‍රිය කිරීමටත්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ අංශ දියුණු කිරීමටත්, රෝහල් පද්ධතිය මඟින්  ලබා දෙන සේවාවන් කාර්යක්ෂම කිරීමටත් කටයුතු කර ඇත.

දේශීය වෛද්‍ය දැනුම ආශ්‍රයෙන් බෝ නොවන රෝග පාලනය සඳහා විශේෂ මැදිහත්වීමක් සිදු කිරීමට හැකි වී ඇති අතර මානසික සමබරතාවය හා චිත්තවේග පාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහාද කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කර ඇත.

දේශීය වෙදකමින් හා දැනුමෙන් දැයට සුවයක් වනු දැකීම මාගේ ප්‍රාර්ථනයයි.

Scroll to Top