හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර දී….

2025 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ ජාතික මොහොත්සවය මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත

මෙම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික නාථ දේවාල විහාරවාසී ඇටිපොළ මහින්ද ස්වාමීන් වහන්සේගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (05) පැවැත්විණී.

එළැඹෙන අප්‍රේල් මස 16 වන දින උදෑසන 09.04 ට යෙදෙන නැකත් චාරිත්‍රයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ දී මෙම චාරිත්‍ර සිදු කිරීමට නියමිතය. මීට සමගාමීව අලි ඇතුන් සඳහා හිස තෙල් ගැල්වීම ද සිදු කෙරේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයූර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ශ්‍රී දළදා මාළිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදා යන ආයතනයන්ගේ දායකත්වයෙන් මෙම ජාතික මහෝත්සවය පැවත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන ,ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් අටම්පාවල පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනය කරමින් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top