පාරම්පරික වෛද්‍ය ක්‍රම සඳහා කලාපීය සහයෝගය සඳහා වූ “බිම්ස්ටෙක් කාර්ය සාධක බලකායේ අටවන රැස්වීම”

පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ බිම්ස්ටෙක් කාර්ය සාධක බලකායේ අටවන රැස්වීම (Eighth BIMSTEC Task Force on Traditional Medicine – BTFTM) 2026 ඔක්තෝබර් 06 වන දින ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට එක්වූහ. බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ නියෝජිතයින් සහ සාමාජික රටවල් වන භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය හා තායිලන්තය යන රටවල නියෝජිතයින්ද මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ රැස්වීමට සහභාගී වූහ.

මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ බිම්ස්ටෙක් කලාපයේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමයි.

ඒ අනුව, පාරම්පරික වෛද්‍ය ක්‍රම සම්බන්ධ දැනුම හුවමාරු කිරීම, පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම මෙන්ම සාමාජික රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන ලදී.

මෙහිදී, සාකච්ඡා කළ ප්‍රධාන කරුණු අතර කලාපීය වශයෙන් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ තොරතුරු සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා වන බිම්ස්ටෙක් පාරම්පරික වෛද්‍ය ද්වාරය (BIMSTEC Traditional Medicine Portal) සංවර්ධනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, පාරම්පරික වෛද්‍ය විද්‍යාව, නවෝත්පාදන සහ පර්යේෂණ සම්බන්ධයෙන් යෝජිත බිම්ස්ටෙක් විශිෂ්ටතා මධ්‍යස්ථානය පිළිබඳව සාකච්ඡා කිරීම, දෙවන බිම්ස්ටෙක් නෝඩීය කණ්ඩායම් රැස්වීමේ වාර්තාව සහ සාරාංශය සලකා බැලීම, සම්ප්‍රදායික වෛද්‍ය දැනුම (Traditional Medicine Knowledge – TMK), ජාන සම්පත් (Genetic Resources – GR) සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් (Intellectual Property Rights – IPR) සම්බන්ධයෙන් පැවති තුන්වන සමුළුවේ වාර්තාව සහ සාරාංශය සලකා බැලීම සිදු කරන ලදී.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Scroll to Top